කෙටි විරාමයක්
ගෝනියාවට ඇවිත් මාස හයේ අවසානේ මම මගේ මූලික වාර්තාව ලියලා කෑම් බාරතීටත් සෑම් සොයිසටත් කොපි යැව්වා. මේ වාර්තාවට ගවේෂණයට මෙතෙක් පාවිච්චිවූ ක්‍රමත්, ඒවායින් ලැබූ ප්‍රාථමික ප්‍රතිපලත්, අනාගත ගවේෂණ ගෙනයෑම පිළිබඳ උපදෙස් මෙන්ම අනාගත ගවේෂකයන්ට වටිනා කරුණු රාෂියක්ද එක්වුනා. වාර්තාව ඉදිරිපත්කල වහාම මම සති දෙකක නිවාඩුවකට ලංකාවට ආවා, මගේ ගෝනියාවේ සහ ලංකාවේ ලොක්කන්ගෙන් අවසර සහිතව.
“මාර රට, පුංචි අයියා! මිනිස්සු පෙනුමෙන් අපි වගේමයි…. හැබැයි උන්ගෙ සිරිත් විරිත් හරිම වෙනස්!”
හවස අයියගෙ ගෙදර පිටිපස්සේ පඩිපෙල උඩ වාඩිවෙලා ඩියුටි ෆ්‍රී විස්කි වීදුරුවක් බොන වෙලාවෙයි මම මෙහෙම කිව්වේ. ගෝනියාවෙන් ඇවිත් මම කටුනායකින් කෙලින්ම මහනුවර ආවේ දවල් කෑම වෙලාවේ. අයියයි අක්කයි දෙන්නම වැඩට ගිහින් හිටිය නිසා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආ ලොකුදුව දීපු කෑම කාලා මම නිදාගත්තා පැය දෙකක් විතර. ආයෙ ඇහැරෙනකොට අයියයි අක්කයි දුවලා දෙන්නයි හවස තේ බොනවා. ගෙනා තෑගි බෙදා දීමයි පවුලේ තොරතුරු අසා ගැනීමයි ඇරුනුකොට ගෝනියාව ගැන කතාවුනේ බොහෝම ආවට ගියාට. අයියටයි අක්කටයි ගෝනියාව ගැන කුතුහලයක් තිබුනත් දුවලා දෙන්නට මම ගෝනියාවේ ඉඳන් ආවත් තූත්තුකුඩියේ ඉඳන් ආවත් වෙනසක් නෑ - මොනවාහරි තෑග්ගක් ලැබුනොත්.
“වැදගත් දේ ඉස්සරවෙලා…. උන් බත් කනවද? බීර බොනවද?”
“ඒ අතින් ඒ තරම් වෙනසක් නෑ - බත්, රොටී, පාන් …. ඒ වගේ ජාති ඕන තරම්. ඉන්දියානු කෑමත් සෑම තැනම වගේ තියෙනවා. බීරත් සමහරු බොනවා නමුත් අපි තරම් නෑ”
මේකට අක්කගෙ සිනාමුසු උත්තරේ හිතාගන්න ලේසියි.
“ඒක කියන්නත් දෙයක්ද, ඔයගොල්ල බොන හැටියට!”
අයියගෙ උත්තරෙත් බලාපොරොත්තු විදිහටමයි.
“පවුල බීම නැවැත්තුවට පස්සේ තමා ඔහොම කියන්න පටන්ගත්තේ!”
“ඔය දෙන්නා වෙනස් වෙලා නෑ ගිය හය මාසේ, මට පේන විදිහට! මට ඇත්තටම සන්තෝසයි ඒක ගැන - මොකද, හුඟක් වෙනස්වෙලානම් මෙහෙ එන එකේ වටිනාකම අඩුයි….”
අක්කට තේරුනා මට මගේම ගෙදරක් කියලා තැනක් නැති එකේ එයාගෙ ගෙදර මම සලකන්නේ මගෙ වගේ කියලා.
“අයියටයි මල්ලිටයි කතාකරගන්න දේ ඇතිනේ? මම බලන්නම් සීලා කුස්සියේ මොනවා කරනවද කියලා”
“නෑ අක්කා! අද රෑ කෑම මගෙන්, හැබැයි කඩෙන්. පොඩ්ඩෝ එහෙමත් කැමති දේ අහලා මට කියන්න; මම ගිහින් ගේනවා!”
නමුත් අක්කා කුස්සිය පැත්තට ගියා, අයියටයි මටයි කතාවට ඉඩදීලා. ඊට පස්සේ තමා අපි දෙන්නා විස්කි පොඩ්ඩක් කටගාන්න හිතුවේ, ගේ පිටිපස්සේ අඹගහ යට පඩිපෙලේ වාඩිවෙලා.
“හරිම අවංක මිනිස්සු …. යමක් කියන්නේ ඒක ඇත්තමයි කියලා දැනගෙන මිසක් කටට ආ පලියට නෙවෙයි”
“එහෙනං එහෙ පාර්ලිමේන්තුව හිස් ඇති!”
“වැඩේ තියෙන්නේ …. එහෙ මුළු දේශපාලන සිස්ටම් එකම වෙනස් - හැබැයි ඒවා අපිට හරියන්නේ නෑ, මං හිතන්නේ”
ගෝනියාවේ ඡන්ද ගැන කතාවට ඊලඟ විනාඩි හතලිස් පහයි පොඩි විස්කි දෙකකුයි වියදම්වුනා. අක්කා තව තේ එකකුත් බිබී අපි ලඟට ඇවිත් වාඩිවුනේ රෑ කෑමේ විස්තරත් එක්කයි.
“මල්ලී කිව්වානම් දැන් කරන්න වෙයි! ලොකු දුවට පීට්සා ඕනළු - පොඩි එකීට කේ එෆ් සී ඕනළු!”
ඒකට උත්තර දුන්නේ පුංචිඅයියා.
“පිස්සු! අපි සේරම තෝසේ කමු; අර අළුත් කඩේ අල තෝසේ නියමයි!
“හරි - පීට්සා එකයි, කේ එෆ් සී එකයි, තෝසේ එකයි. …. අක්කට මොනවද ඕන?”
“අනේ නිකං ඉන්න මල්ලී…. අපි මොක හරි එක දෙයක් ගමු සේරටම කන්න”
“පීට්සා”, “කේ එෆ් සී” ගේ ඇතුලෙන් ඇහුනා.
“මට ඇහුනෙ නෑ!”
“පීට්සා”, “කේ එෆ් සී”… “තෝසෙත් නරක නෑ බාප්පුට අමාරුනම්”
ලොකුදුව ඩිප්ලොමැටික් පාරෙන් පීට්ස කන්න හදනවා. ‘බාප්පුට අමාරුනම්' කියන්නේ එහෙම කිව්වොත් මම කොහොම හරි එයාට ඕනදේ කරන බව එයා දන්නවා. අනික් අතට, ටවුමට ගියොත් ඔය සේරම ගන්න මට වැඩි වෙලාවක් යන්නෙ නෑ. තොසේ කඩේට ඕඩර් දීලා අනික් කඩ දෙකෙන් කෑම අරගෙන එනකොට තෝසෙත් ලෑස්තියි - විනාඩි විස්සේ වැඩේ. පුංචි අයියගෙ ගෙදර අයත් එක්ක පරන විදිහට කෑමට වාඩිවෙන්න මම ලොකු ආශාවකින් හිටියේ. මට ‘පවුලක්’ කියන්න ඉන්නේ මේ හතරදෙනා විතරයි.
……………………
“ලොක්කී දන්නවද ඇයි මම ගිය රටට ‘ගෝනියාව’ කියලා නම දාලා තියෙන්නේ කියලා?”
“…. ඒක ලෝක සිතියමේ ගෝනියක් වගේ පෙනෙන නිසා? …. ලෝකේ ලොකුම ගෝනි නිපදවන්නා නිසා? …. ඒ අයගෙ භාශාවෙන් ‘ගෝනියාව’ කියන්නේ ‘මාර රට’ කියන එකට? …. ඒක ආක්රමණිකයෝ දාපු නමක් - ඇත්ත නම … ‘ගොන්පාට්’?”
“ඇති ඇති! නූගත්කම එක වචනෙකින් පෙන්නුවොත් ඇති…. හැබැයි ‘ගොන්පාට්’ නම ඇත්තටම හොඳයි, නමුත් ඒ රටට නෙවෙයි!”
“ඇයි ගෝනියාව කියන්නේ?”
පොඩි දුවට අක්කගෙ භාශා හැසිරීමේ දක්ෂතාවය තවම නෑ - නමුත් යමක් ඉගෙනගැනීමේ ආශාව තියෙනවා.
මම විනාඩි පහක් ‘ගෝනියාව’ භාවිතයට ආ හැටි ගැන කතා කලා.
“ගොන් වැඩේ! ගෝනි මල්ලක් තෑග්ගට? මට නම් ඊට වඩා හොඳයි ලැප්ටොප් එකක් ලැබුනොත්!”
ලොකුදුවට වඩා අක්කා ටිකක් කල්පනාවෙන්.
“ඇත්තටම ඒ අයගෙ මතකේ හොඳද? මට හිතාගන්න බෑ, ගෝනියක අයිතිකාරයා වුන පලියට මොලේ පැහැදිලි වෙනවා කියලා”
ඒකට උත්තරේ ආවේ අයියගෙන්.
“අපෙ මොලේ දන්නවනම්, මං කියන්නේ තදින්ම විශ්වාස කරනවානම්, ගෝනියට දාන ඕනම දෙයක් මතකේ හිටිනවා කියලා, මොලේට පුළුවන් ඒ මතක වලට ඉඩ සලස්සන්ට. ඉඩ විතරක් නෙවෙයි, ඕන වෙලාවට එලියට ගන්නත් මාර්ග …. අර අප්‍රිකාවේ ‘ග්රියෝ’ එහෙම නැත්තම් ‘ජෙලී’ කියන අය මුළු ඉතිහාසෙම කටපාඩම් කරලා කියන්නේ, සිංදු හරි කවි හරි හැටියට - කිසිම පොත පතක් නැතුව!”
“විභාග කාලෙට නියමයි!”
“මං හිතන්නෙ නෑ මේවා දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දේ කියලා. මම එහෙ හිටපු මාස හයේම මගෙ ගෝනි මල්ල නිතරම මා ලඟ - නමුත් උදේට කාපු දේ වත් මට මතක නෑ දවල් වෙනකොට?”
“මොනවද මල්ලී එහෙ උදේට කෑවේ?”
“එක එක ජාති අක්කා… හිතලා බලන්න ලංකාවෙයි දකුණු ඉන්දියාවෙයි කෑම එකතු කරලා දෙකෙන් බෙදුවොත් ගෝනියාවේ කෑම වගේ තියෙයි. ලංකාවේ කෙනෙකුට ඒවා කාලා ඉන්න පුරුදුවෙන එක ලේසියි. මට තිබුන ලොකුම අඩුව පොල් සම්බල් නැති කම! එහෙ මස් මාළු කනවා අඩුයි - ආගමක් නිසා නෙවෙයි; මිනිස්සු ඇත්තටම එළවලු, පලතුරු, ධාන්‍ය වගේ දේ වලට කැමතියි - පුරාණ ශිෂ්ටාචාරයක් නිසා ඉස්සර කාපු විදිහට තවම කනවා. මං කිව්වා නේද කොච්චර කාලයක් යටත් විජිතයක් වගේ තිබුනත් මිනිස්සු ඒ තරම් වෙනස්වෙලා නෑ!”
“බාප්පු කියන්නේ එහෙ කේ එෆ් සී නැද්ද?”
“ඒ වගේ දේ බොහොම අඩුයි. පාරවල් ගානේ පීට්සා, මැක්ඩොනල්ඩ්ස් වගේ කඩ නෑ - ඒවා කන්න ලොකු හෝටල් වලට යන්න ඕන; හරි ගනන් - මම නම් එක දවසක්වත් ගියෙ නෑ!”
“එහෙ මිනිස්සු දුප්පත්ද?”
“පොඩිදුව මම ඕක ගැන හුඟක් හිතලා බැලුවා හැබැයි තවම උත්තරයක් හොයාගන්න බැරිවුනා…. මිනිස්සුන්ගෙ අතේ වැඩිය සල්ලි නෑ - පඩි අඩුයි. හුඟක් මිනිස්සු ඉන්නවා පොල් අතු හරි ටකරන් වලින් හදපු පොඩි ගෙවල්වල - ලොකු මාලිගා වගේ ගෙවල් අඩුයි. අනික් අතට සාමාන්‍ය එදිනෙදා කන කෑම ලාබයි, ඉස්කෝල, ඉස්පිරිතාල එහෙම හුඟක් වෙලාවට නොමිලේ …. මම ලොකුම වෙනස දැක්කේ එහෙ අය හිතන විදිහ. ලංකාවේ වගේ ආංඩුවට බනිනවා මට ඇහුනෙම නෑ! ආංඩුවට විතරක් නෙවෙයි, කාගෙවත් වැරැදි හොයලා කෑගහන බනින සංස්කෘතියක් එහෙ නෑ වගේ. මට හිතෙන්නේ ගෝනියාවේ මිනිස්සු අපිට වඩා බොහෝම සංතෝසෙන් ඉන්නේ - ඒ නිසාමයි මට එහෙ මිනිස්සු පොහොසත් කියලා හිතෙන්නේ”
පුංච් අයියට පොඩි හිනාවක්.
“හොඳටම රට අල්ලලා ගිහින් වගේ!”
“ඇත්තටම පුංචිඅයියා රටයි මිනිස්සුයි නියමයි! මට සෑහෙන්න යාළුවොත් ඉන්නවා - හොඳ යාළුවෝ”
“එහෙම පදිංචි වෙන්නද අදහස?”
අයියා අහපු ප්‍රශ්නේ යට තව ප්‍රශ්නයක් තියෙනබව අක්කටයි මටයි තේරුනා. මගේ සෑහෙන කාලයක් ගාල්ලේ කෙල්ලෙක් එක්ක තිබුන සම්බංධයක් කැඩී ගිහින් දැනට අවුරුදු තුනකටත් වැඩියි. තිලකාගෙන් පස්සේ මම ආයෙ කෙල්ලෙක් එක්ක කිට්ටු බැඳීමක් ඇතිකරගත්තෙ නෑ. ඒ වෙන්වීමේ දුක මටත් වැඩිය අයියටයි අක්කටයි දැනුනා කියලයි මම හිතුවේ. ලොකු අයියා කාලෙකට ඉස්සර රට ගිහින් දැන් ලංකාවත් එක්ක කිසිම ආශ්‍රයක් නැති නිසා පුංචි අයියගෙ පවුල මගෙ වගේමයි මට දැනුනේ. සමහරවිට අයියට හිතෙන්න ඇති මමත් ලොකු අයියා වගේ වෙන රටක නවතින්නම යයි කියලා.
“මේක ප්‍රොජෙක්ට් එකක් විතරයි. මාස හයේ රිපෝට් එක දීලා මේ සති දෙකට මෙහෙ ආවේ. ඉතුරු ටිකත් මටම කරන්න කිව්වොත් තව අවුරුද්දක් දෙකක් එහෙ වැඩ කරනවා - නවතින්න අදහසක් නෑ”
“බාප්පු ආපහු යනවා? කවද්ද?”
“දවස් දෙක තුනක් මෙහෙ ඉඳලා, අම්මා මාව ගහලා එලවන්ට ඉස්සර කොළඹයි ගාල්ලෙයි යනවා. කොළඹදී තමා ආයෙ යන දවස දැනගන්නේ. ඊට පස්සේ බලනවා නුවර ඇවිත් දවස් කීපයක් ඉඳලා යන්න පුළුවන්ද කියලා”
“කාලෙකට පස්සේ ඇවිත් ඇයි කොළඹයි ගාල්ලෙයි යන්නේ මෙහෙ ඉන්නෙ නැතුව?”
අක්කා දන්නවා මගෙ ගාල්ලේ සම්බන්ධේ - ඒ නිසා වෙන්න ඇති කතාව වහාම වෙන පැත්තකට හැරෙව්වේ පොඩ්ඩෝ තව ප්‍රශ්න අහන්න ඉස්සර.
“එහෙත් ඉස්සර වගේ ඇවිදින්න එහෙම ගියාද? මං දන්නවා ගාල්ලේ කොටුවේ ඇවිදපු කතා එහෙම අර මල්ලිගෙ පොතේ තිබුනේ!”
“වැඩිය බැරිවුනා අක්කා. පටන්ගත්ත දවස්වල ඇවිදින්නේ කොහෙද කියලාවත් හොයාගන්න බැරිවුනා. ඒ අර යුනිවසිටි පිට්ටෙනි වටේ ඇවිදින්න මම කැමති නැති නිසා. පස්සේ තමා ලඟම මුහුදුවෙරල සොයාගත්තේ - ඊට පස්සේ දවස් දෙක තුනකට සැරයක්වත් ඇවිද්දා කිලෝ දහයක් විතර”
ටිකෙන් ටික අපෙ කතා මම ගෝනියාවේ යන්න ඉස්සර සිද්ධි වලට හැරුනා - දුවලගෙ විභාග, අක්කගෙ පංතියේ ළමයි, අයියගෙ රස්සාව වගේ. ආයෙත් කෑම මේසෙන් නැගිටිනතුරු ගෝනියාව සඳහන්වුනේම නෑ.
………………………
“ගුඩ් මෝනිං උපාලී - වෙල්කම් බැක්!”
“හලෝ සෑම්. එවපු රිපෝට් එක කියවන්න වෙලා තිබුනද?”
“රිපෝට් ගැන කතා කරන්න වෙලා තියෙනවා - කවද්ද ආවේ?”
“දැන් දවස් තුනක් වෙනවා. ආපු ගමන් නුවර ගියා; එහෙ අයියලගෙ ගෙදර ඉඳලා අද උදේ තමා කොළඹ ආවේ. නවතින තැනටත් නොයා කෙලින්ම මෙහෙ ආවේ සෑම් හම්බවෙලා මට ආයෙ ගෝනියාවේ යන්න වෙනවද කියලා බලාගෙන ඊට පස්සේ අනික් වැඩ ප්ලෑන් කරන්න”
ආචාර්ය සැම්සන් සොයිසා මා දිහා බැළුවේ හරියට තෑගිත් අරගෙන මං එනතුරු මග බලාගෙන හිටිය පොඩි එකෙක් වගේ.
“මට ඉරිසියා හිතෙනවා උපාලිගෙ රස්සාව ගැන - වෙලා තියෙන වැඩ කොටසත් නියමයි; ගෝනියාවයි ඒකේ මිනිස්සුත් මාරයි වගේ! මම රිපෝට් එක දැනටමත් ෆන්ඩිං බොඩි එකට දීලා තියෙන්නේ - සමහරවිට උපාලිට ඒ අය හමුවෙන්නත් වෙයි. නමුත් මගේ ඇසෙස්මන්ට් එකයි රෙකමන්ඩේශන් එකයි හැටියට ගවේෂණය ඊලඟ අදියරට යනබව සහතිකයි. වෙල් ඩන්! – ඒක කිව්වැන් පස්සේ දැන් අපි ගිහින් තේ එකක් බොමු - මට අහන්න ගොඩාක් ප්‍රශ්න තියෙනවා!”
ඊලඟ පැයේදී මම ගෝනියා ගවේෂණය ගැන බොහෝම දේ සෑම් සමග සාකච්චා කළා. එහිදී මගේ පුද්ගලික, වාර්තාවට නොදාපු, හැඟීම් පිලිබඳවත් සෑම්ට කිව්වා. මම හිතුවේ, මගේ ලංකා කොටස්කාරයා වශයෙන් සෑම් මේ දේ දැනගත යුතු බවයි.
“හොඳ සුදුසුකම් තියෙන මහාචාර්ය කෙනෙක්, ඒ කියන්නේ සෑම් වගේ කෙනෙක්, එහෙ වැඩට යවන එක වැඩිය සුදුසු නෑ. මං මේ කියන්නේ ව්‍යාපෘතියේ හොඳට. මම බොහෝදේ ඉගෙන ගත්තේ, බොහොම දත්ත එකතුකරගත්තේ සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරලා මිස උගතුන් අල්ලලා නෙවෙයි. උගතුන්ගෙන් හුඟක් දේ ඉගෙනගන්න හැකිවුනත් සාමාන්‍ය මිනිසුන්ට කතා නොකර ඒ අය කියනදේ රටට බලපාන්නේ කොහොමද කියලා දැනගන්න හැම මට්ටමෙන්ම බලන්න ඕනෑ. මිනිස්සු හිතන්නේ පිටරටින් යන උගතෙක් එහෙ උගතුන්ටත් වැඩිය උඩින් ඉන්නේ කියලා - නැත්තම් ඇයි එහාට ගෙන්වන්නේ? මේ නිසා මිනිස්සු එහෙම අයට කියන්නේ ඒ අය අහන්න කැමති දේ මිස ඇත්ත නොවෙන්න පුළුවන් … හිතන්න එපා මට රස්සාව ඕන නිසා මෙහෙම කියනවා කියලා - සමහරවිට ජේෂ්ඨ සිසුවෙකුට පුළුවන් ඒක කරන්න”
“එහෙනං මගෙ චාන්ස් එක ගියා! මං බලාගෙන හිටියේ පුළුවන් වෙයිද කියලා පොඩි ට්‍රිප් එකක් දාන්න!”
“සෑම්ට මං කියපු එක තේරුනේ නෑ. එදිනෙදා වැඩ වලට මං වගේ බයියෙක් හොඳයි. නමුත් සෑම් වගේ උගතෙක් ආවොත් ‘ඉන්ස්පෙක්ශන්’ කියලා, ඒක හොඳටම හොඳයි. වැඩේට මම - මගෙ වැඩ බලන්න සෑම්. සෑම් ඉන්ස්පෙක්ශන් එන එකෙන් මගෙ තත්වෙත් ඉහල යනවා පොඩ්ඩක් - ගවේෂණයේ වටිනාකම වැඩිවෙන නිසා!”
“… උපාලී කැමතියි නේද මේකේ ඉතුරු ටිකත් කරන්න? අවුරුද්දක් දෙකක් යයි …”
“ෆන්ඩිං තියෙනවානම් මට ප්‍රශ්නයක් නෑ - ඇත්තටම ගෝනියාව මට හිතට අල්ලලා තියෙන්නේ”
“ඒක හොඳයි. මං බලන්නම් ඔය ‘ඉන්ස්පෙක්ශන්’ ට්‍රිප් එක දාගන්න තව මාස හයකින් විතර”
“ගුඩ්. මම හිතුවේ යුනිවසිටි තැනෙන් ගිහින් පොඩි ගෙදරක් කුලියට ගන්න, අවුරුද්දක් දෙකක් ඉන්නවනම්. අනික සෑම්ටත්මාත් එක්ක ඉන්න පුළුවන්”
“රයිට්… මං කෝල් එකක් දෙන්නම් ෆන්ඩිං බොඩි එකට උපාලී හමුවෙන්න ඕන කිව්වොත්. නැතත් කෝල් එකක් දෙන්නම් එන සතියේ වෙන මොකවත් තියෙනවානම් …. තව මොනවත් අපෙන් වෙන්න ඕනද වැඩේ ලේසි කරන්න?”
“නෑ සෑම් - තැන්ක්යූ. මම හිතුවේ දවසක් දෙකක් ගාල්ලේ ගිහින් ආපහු නුවර යනවා කියලා සතියක් විතර ඉන්න”
“මොනවත් ඕනනම් කෝල් එකක් දෙන්න”
අපි අතට අත දීලා වෙන්වී ගියේ පරන යාළුවෝ වගේ. නැවත ගෝනියාවට යන්න ලැබීම මට සන්තෝසයක්. නමුත් මගේ ලංකා ගමන හිතුවට වඩා කෙටි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉතිරි කාලයෙන් වැඩිහරියක් නුවර ඉන්නත් ගාල්ලේ යෑම ඉවත දමන්නත් මම තීරණේ කළා. මේ සැරේ අයියලාගෙ ගෙදර තව දවස් කීපයක් නැවතිලා ඉන්න මට ආශාවක් ඇතිවුනේ අනාගතේ කුමක් වෙනවාදැයි නොදන්න නිසා වෙන්න ඇති.